රුපියල් පහ සෙවීම

Friday, October 7, 2011

රුපියල් පහ සෙවීම

පීටර් මාමා ගමේ සිටින කා අතරත් ජනප්‍රිය චරිතයක්‌ වූයේ ඔහු කරන කියන දේවල් නිසාය. දිනක්‌ රාත්‍රි කාලයේ ටවුමට ගොස්‌ පයින්ම ගෙදර එන සයිමන්ට දක්‌නට ලැබුණේ පාරේ පහන් දැල්වෙන ලයිට් කණුවක්‌ යට මොනවදෝ හොයන පීටර් මාමාවය. පීටර් ළඟට කිට්‌ටු වූ සයිමන් "මොනවද බං පීටර් උඹ ඔතන ඔය කරන්නෙ..."

"ආ... මේ සයිමන්නෙ... මගේ රුපියල් පහක්‌ වැටුන බං... ඒකයි මම මේ හොයන්නෙ...."
මඳක්‌ විමසිලිමත්ව පාර දෙස බලමින් සයිමන් පීටර්ගෙන් මෙසේ ඇසීය.

"ඇත්තටම කොයි හරියෙද බං වැටුනෙ..." ඔවුන් සිටිතැනින් මීටර් 20 ක්‌ පමණ දුරින් වූ අඳුරු තැනක්‌ පෙන්වූ පීටර්,

"අන්න අතනදි බං වැටුනෙ..."

මවිතයට පත්වූ සයිමන් "එහෙනං මෙතන හොයන්නෙ මොන කෙංගෙඩියක්‌දැ"යි පැවැසීය.

"එතන හොයල වැඩක්‌ තියෙනවද බං මෙලෝ හසරක්‌ පේන්නෙ නැතිව... ඉතිං මම මේ ලයිට්‌ එක තියෙන තැනට ඇවිත් හෙව්ව"යි පීටර් ගානකට නැතිව කීය.